ශ්‍රි ලංකාව‍ෙ රක්ෂිත වනාන්තර


ජෛවගෝල රක්ෂිත සහ සංරක්ෂණ වනාන්තර


ජෛව විවිධත්වය සහ ජල විද්‍යාත්මක වටිනාකම අතින් ඉතාම ඉහළ වැදගත්කමක් සහිත වනාන්තර ප්‍රදේශ අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිත සහ සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර, මෙම වනාන්තර සෞන්දර්ය නැරඹීම සහ වන විද්‍යා පර්යේෂණ සිදුකිරිම සඳහා පමණක් වෙන්කර තිබේ. වනාන්තරවල ස්වභාව සෞන්දර්ය නැරඹීමට හා ඉන් වින්දනයක් ලබාගැනීමට ඇල්මක් දක්වන අයට ඉතාමත් සුදුසු ස්ථාන ලෙස පහත දැක්වෙන වනාන්තර හැදින්විය හැක.


3.        උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරය


හුරුළු අන්තර්ජාතික ජෛගෝල රක්ෂිතය

Image result for hurulu forest in lanka
ඉපැරණි හුරුළු වැව නමින් නම්කර තිබෙන හුරුළු වනාන්තරය 1942 දී රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.  මෙම වනාන්තරය ලංකාවේ වියළි කලාපයේ පිහිටා තිබෙන අතර, අනුරාධපුර සහ පොළොන්නරුව
 යන දිස්ත්‍රික්ක තුල හෙක්ටයාර් 25,000 ක් පුරා ව්‍යාප්ත වී පවතී.  1977 දී හුරුළු රක්ෂිත වනාන්තරයෙන් හෙක්ටයාර් 512 ක භූමි ප්‍රමාණයක් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  2007 වසරේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර 1000 ක බිම් කොටසක් පාරිසරික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර විවෘත කරන ලදි.
ප්‍රවේශය:
හුරුළු රක්ෂිත වනාන්තරයට හබරණ - ත්‍රිකුණාමල ප්‍රධාන පාර ඔස්සේ ළඟාවිය හැකිය. හබරණ දුම්රිය හරස්පාර පසුකර මීටර් 100 ක් පමණ යන විට වම් පසින් මෙම හුරුළු පාරිසරික 


දේශගුණය:
හුරුළු වනාන්තර ප්‍රදේශයේ දේශගුණය, වියළි කලාපයේ දේශගුණයට සමානය. වර්ෂාපතනය සාමාන්‍ය අගයක පවතින අතර, ඉහළ උෂ්ණත්වය ද සමඟින් මෙම වර්ෂාපතනය අක්‍රමවත්ව ව්‍යාප්තව පවතී.  ඊසාන දිග මෝසම් කාලයේ දී එනම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාලයේදී වර්ෂාපතනය ලැබෙන අතර, වසරේ ඉතිරි කාලය ප්‍රධාන වශයෙන් වියළි ස්වරූපයක් ගනියි.  සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1600 ක් ද, සාමාන්‍ය උෂ්ණත්වය 27‘C - 30‘C අතර අගයක පවතී.
වෘක්ෂලතාදී දර්ශ:
මෙම වන රක්ෂිතයේ වියළි මෝසම් වනාන්තර වර්ගය (වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර) දක්නට ලැබේ. සාමාන්‍යයෙන් විශාල ශාකවලින් සැදුම්ලත් ඉහළ වියන් ස්ථරයක් ද කුඩා ප්‍රමාණයේ ශාකවලින් සැදුම්ලත් උප වියන් ස්ථරයක් ද ඉතා පැහැදිලි පැළෑටි ස්ථරයක් ද යනුවෙන් ස්ථරීභවනයක් පෙන්නුම් කරයි.  ඉහළ වියන් ස්ථරය මීටර් 15 – 20 පමණ ඉහළට විහිදී යන අතර, එකිනෙකට ඉතාමත් ළඟින් ඇසුරුණු ‍ශාකවලින් සමන්විත වේ.  මෙම ඉහළ වියන් ස්ථරයට බාධා කරමින් නෙරු ශාක ලෙස ඉහළට වැඩෙන පළු සහ බුරුත ශාක ද දැකිය හැකිය.  උප වියන් ස්ථරය කොරකහ, කුණුමෙල්ල, වැලිවැන්න වැනි ශාක විශේෂවලින් සමන්විත වේ.
ගංගාධා වනාන්තර, තැනින් තැන විසිරුණු විවෘත වනාන්තර සහ කායා, තේක්ක සහ යුකැලිප්ටස් වන වගා වෙන වනාන්තරයේ දක්නට ලැබෙන අනෙකුත් වනාන්තර වර්ග වේ.

Image result for hurulu forest in lanka
ජෛව විවධත්වය - ශාක විශේෂ:
ප්‍රමුඛ ශාක ලෙස බුරුත (Chloroxylon swietenia) සහ පළු (Manilkara Hexandra) ශාක ද, කළුවර  (Diospyros ebenum) ශාකයද දැකිය හැකිය.  මෙම වනාන්තරය තුළදී දැකගත හැකි කාෂ්ඨීය ශාක සමහරකි. පළු, වීර, හල්මිල්ල, කුඹුක්, මී, මිල්ල, කොහොඹ, තිඹිරි, කොලොං සහ නෑබඩ.
ජෛව විවධත්වය - සත්ව විශේෂ:
මෙම වනාන්තරයේ දක්නට ලැබෙන ක්ෂීරපායි සතුන් අතර, ආවේණික රිළවා, උනහපුළුවා, වල් ඌරා, මුවා, කබැල්ලාවා, ඌරු මීයා, ඉත්තෑවා, හාවා, සිවලා, දිවියා, වල් බළලා, මුගටියා, මී හරකා සහ අලියා සුලභව දක්නට ලැබේ. පක්ෂීන් අතර, ආවේණික පක්ෂී විශේෂ රැසක් ද දක්නට ලැබේ.  වලි කුකුළා, හබන් කුකුළා, නිල් මුහුණැති මල් කොහා සහ දුර්ලභ බොරත් කොඩ - කෑරලා මෙලෙස දැකිය හැකි ආවේණික පක්ෂි විශේෂ වේ.
Image result for hurulu forest in lanka
ජල විද්‍යාත්මක වැදගත්කම:
නැගෙනහිර සහ බස්නාහිර දිසාවට යොමු වී තිබෙන එකිනෙකට සම්බන්ධ නොවූ සමාන්තර කඳුවැටි අතර සැළකිය යුතු දිගකින් යුක්ත නොගැඹුරු බේසමක් මෙම හුරුළු වන රක්ෂිතය මගින් සකසා දෙයි. ප්‍රදේශයේ පිහිටි ජල දහරාවන් ඉතා සරල ජලවහන පද්ධතියක් නිර්මාණය කරයි. අළුත් ඔය, හල්මිල්ල ඔය සහ ගල් ඔය ඔස්සේ ජල කඳ මහවැලි ගඟ කරා රැගෙන යයි.  උතුරු සහ ඊසාන දිශාවන්වල පිහිටි ජල දහරා යාන් ඔයට එකතු වේ. වර්ෂාපතනය සෘතුමය ස්වභාවයක් ගැනීම හේතුකොට ගෙන සියළුම ජල දහරා බහු වාර්ෂික වේ.  වියළි කාලයේදී ප්‍රධාන ගංගා තුන හැරුණු විට අනෙකුත් සියළුම දිය දහරා සම්පූර්ණයෙන්ම වියළී යයි.  කෙසේවුවද, අධික වර්ෂාපතනයක් ලබන කාලයේදී බොහෝවිට කෙටි කාලයකට බල පවත්වන පරිදි හෝ ගංවතුර ඇති වේ.  හුරුළු වැවේ ජලාධාරා ප්‍රදේශය හුරුළු ප්‍රදේශයයි. රක්ෂිතය තුළ නටඹුන් ලෙස පැරණි වැවි කිහිපයක් ද පිහිටා තිබේ.
පුරා විද්‍යාත්මක ස්ථාන:
මෙම වනාන්තරයට ආසන්නව පිහිටි තල්ගෙඩිකන්ද වන ආරාමයකි. තිස්ස රජතුමාගේ කාලයට අයත්, පෞරාණික ගොඩනැගිලි, ගල් ගුහා, පොකුණු සහ ස්මාරක රැසක් තිබෙන බැවින් පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වේ.  මෙයට අමතරව ‍ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූ කටුවැල්ගොඩ රජ මහා විහාරය නැමති තවත් පන්සලක් මෙම ප්‍රදේශයේ තිබේ.
අලි නැරඹුම් ස්ථානය :
ආසියානු අලින්ගෙන් විශාල සංඛ්‍යාවකට වියළි කලාපයේ, වියළි සදාහරිත වනාන්තර තවමත් සෙවණ සපයයි. වියළි කලාපයේ පිහිටි වැදගත් අලි නැරඹුම් ස්ථානයක් ලෙස හුරුළු රක්ෂිතය ප්‍රකටය.  හුරුළු උද්‍යානය තුළ විශාල අලි රංචු සැරිසරනු දැකිය හැකිය.  ඔක්තෝබර් සිට මැයි දක්වා කාල පර්ච්ඡේදයේදී හුරුළු උද්‍යානය නැරඹීමට යන සංචාරකයින් හට දක්නට ලැබෙන සුන්දර දසුනකි, මෙම අලි රංචු.
අනෙකුත් බොහොමයක් වියළි වනාන්තර මෙන් නොව, මෙම වියළි සදාහරිත වනාන්තර වියළි කාලයේදී ද සිය ශාක පත්‍ර ශාකයෙන් පතනයවීමට ඉඩ නොදී තමන් වෙතම රඳවා තබා ගනියි.  හුරුළු වනාන්තරය තුළ තිබෙන තැනිතලා භූමිය, සුලභව තිබෙන තෘණබිම් සහ අවම මට්ටමේ පවත්නා මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන මෙම උද්‍යානය අලින් සඳහා කදිම තෝතැන්නකි.  ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුකොටගෙන ඇතිවන ගංවතුර තත්ත්වයන් හමුවේ මින්නේරිය, කවුඩුල්ල වැනි ප්‍රදේශවල සිටින ඇතුන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වේ.
පහසුකම්:
·         "දෙමටවැව"  පිහිටි නව ගිමන් හල සහ කුරුල්ලන් නැරඹීමේ කුටිය
·         මුළුතැන්‍ ගෙවල් පහසුකම් සහිත කඳවුරු බිම
·         කෞතුකාගාරය
·         ස්වභාවික මංපෙත්
·         "බැලුම්ගල" පිහිටි නැරඹුම් අට්ටාලය

කන්නෙලිය ‍- දෙදියගල - නාකියාදෙනිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය

කන්නෙලිය - දෙදියගල - නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන කන්නෙලිය වනාන්තරය ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ගාල්ල නගරයට කිලෝමීටර් 35 ක් පමණ ඊසාන දෙසට වන්නට පිහිටා තිබේ. කන්නෙලිය - දෙදියගල - නාකියාදෙනිය වනාන්තර සංකීර්ණයේ වපසරිය හෙක්ටයාර් 10,867 ක් වන අතර කන්නෙලිය වනාන්තරයේ විශාලත්වය හෙක්ටයාර් 6,144 ක් වේ. කන්නෙලිය වනාන්තරයේ ඉතිහාසය ස්වභාවධර්මයේ චමත්කාරය විදහා පාන කතා වස්තුවකි.  දශක හතරක පමණ කාලයක් පුරාවට මහා පරිමාණයෙන් සිදුකළ වරණීය හෙළීම් කටයුතුවලින් පසුව සිංහරාජ වනාන්තරයට පසුව හමුවන දැනට පවත්නා වඩාත් පිරිපුන් පහතරට වර්ෂා වනාන්තර කොටස ලෙස යථා තත්ත්වයට පත්වීමට මෙම වනාන්තරයට අවස්ථාව උදාවිය. (සිතියම)
1934 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  පසුව, එනම් 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කරන ලදි.  යුනෙස්කෝ (UNESCO) ආයතනයේ මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වර්ෂයේදී කන්නෙලිය වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  කන්නෙලිය වනාන්තරය, බෝග වල් දර්ශවල ස්ථානීය සංරක්ෂණය සඳහා උචිත ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.
ප්‍රවේශය:
කන්නෙලිය වනාන්තරයට කෝරලේගම - කන්නෙලිය මාර්ගය ඔස්සේ ලඟාවිය හැකිය. මෙය උඩුගම - හිනිඳුම ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් වූ රථ වාහන ගමන් කළ හැකි කුඩා මාර්ගයකි.  මෙම මාර්ගය කන්නෙලිය වනාන්තරය කරා දිවෙන අතර, නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අවසන් වේ. මෙම ස්ථානයේ සිට දැව හෙළීම් කටයුතු සඳහා භාවිතා කළ පැරණි මාර්ගය දැකිය හැකිය.

දේශගුණය:
KDN සංකීර්ණයේ සාමාන්‍ය භූ විෂමතාවයට කඳු වැටි, නිම්න සහ අඩු උසකින් යුක්ත හුදෙකලා කඳු ඇතුළත් වේ.  දළ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3500 – 4500 ත් අතර අගයක පවතින අතර, නිරිත දිග මෝසම් කාලයේදී එනම්, මැයි මස මැද භාගයේ සිට සැප්තැම්බර් මස අග දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4445 ක් පමණ වේ. සාමාන්‍ය මාසික උෂ්ණත්වය 27‘C පමණ වන අතර, දවස තුළ උෂ්ණත්වය 4‘C - 5‘C අතර පරාසයක් තුළ වෙනස් වේ. මාර්තු මස මැද සිට මැයි මස මැද දක්වා කාලයේදී උපරිම උෂ්ණත්වයක් වාර්තා වේ.
වෘක්ෂලතාදී දර්ශ:
Image result for kanneliya forest resort
දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත එක් වනාන්තරයකි, KDN සංකීර්ණය. මෙය පහතරට තෙත් සදාහරිත වනාන්තරයක් ලෙස වර්ගීකරණය කර තිබේ.  මෙම වනාන්තරයේ ව්‍යූහය සළකා බලන විට එය ලාක්ෂණික ස්ථර රැසකින් සමන්විත, ජීවී විවිධත්වය අතින් ඉතා ඉහළ තලයක පවතින, ඉතාම ඉහළ මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරන වනාන්තරයකි. KDN වනාන්තරයේ ස්වභාවික වෘක්ෂලතා දී දර්ශය නියෝජනය කරන ප්‍රමුඛ ශාක ලෙස නා-දුන් සංගමය දැක්විය හැකිය.  කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය.  අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස පවතී.  කෙසේවුවද, ශාක විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පවතින අතර, සපුෂ්ප ශාක විවිධත්වය ද සාපේක්ෂව ඉහළ අගයක පවතී.
ජෛව විවිධත්වය - ශාක විශේෂ:
Image result for kanneliya forest resort
කන්‍නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301 ක් වාර්තා වී තිබේ.  මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ.  මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 15 ක් විශේෂයෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක් වී තිබෙන අතර, විශේෂ 26 ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ.  කන්නෙලිය වනාන්තරය, තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික, කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතුවන තෙත් කලාපීය වනාන්තරයකි.
ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ:
සංකීර්ණ පරිසර තත්වයන්ගේ සංකලනයක් වන සාමාන්‍යයෙන් මිනිස් බලපෑම්වලට අඩුවෙන් ලක් වූ KDN වනාන්තරය ඉතා ඉහළ විවිධත්ත්වයකින් සහ ඉතා ඉහළ ආවේණිකත්වයක් පෙන්නුම් කරන සත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයයි. KDN වනාන්තර සංකීර්ණයේ සහ එයට යාබදව පිහිටි අනෙකුත් වනාන්තරවලින් සත්ව විශේෂ 220 ක් පමණ වාර්තා වී තිබෙන අතර, ඉන් විශේෂ 41 ක් ආවේණික වේ.
ඉතා ඉහළ ශාක ඝනත්වයකින් යුක්ත වනාන්තර ප්‍රදේශ, ගංගාධාර වනාන්තර, මිනිස් බලපෑමට ලක් වූ ප්‍රදේශ සහ අවට තිබෙන ගෙවතු යනාදී විවිධාකාර වාසස්ථාන තුළ ලංකාවේ වෙසෙන ආවේණික පක්ෂීන්ගෙන් බහුතරයක් ද ඇතුළුව තෙත් කලාපිය වානන්තරවලදී නිරික්ෂණය කළහැකි පක්ෂීන් රැසක් වාසය කරති.  මෙම පක්ෂීන් නිරීක්ෂණය කිරිමට KDN වනාන්තර සංකීර්ණය කදිම ස්ථානයකි.  වනාන්තරයේ තිබෙන ස්ථරීභවන ස්වභාවය පක්ෂීන් සඳහා විවිධාකාර වාසස්ථාන නිර්මාණය කරදෙයි.  මේ හේතුවෙන් වනාන්තරය තුළදී පක්ෂි විශේෂ ගණනාවක් එකතු වී "නඩ" ලෙස සැරිසරන පක්ෂී සමූහයන් දැකිය හැකිය.  මෙම පක්ෂී නඩ, ඇතැම් විට පක්ෂී විශේෂ 30 – 35 ක් වැනි විශාල විශේෂ සංඛ්‍යාවකින් සමන්විත වේ. මෙම සුන්දර දසුනින් වනාන්තරයේ සුන්දරත්වය තීව්‍ර වේ.
මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව KDN වනාන්තර සංකීර්ණයේ පක්ෂී විශේෂ 120 ක් පමණ වෙසෙන බව තහවුරු වී තිබේ.  මෙම පක්ෂී විශේෂ අතර, ශ්‍රී ලංකාවෙන් වාර්තා වි තිබෙන ආවේණික පක්ෂී විශේෂ 23 න් 14 ක්ම වාර්තා වි තිබේ.  KDN වනාන්තර සංකීර්ණයේ ඉතා කුඩා පක්ෂීන් මෙන්ම ඉතා විශාල පක්ෂීන් ද සිටිති.  වනාන්තරයේ යටි වගාවේ හිස කළු පදුරු දෙමලිච්චන් සිටින අතර වියන් ස්ථරවල රතු මුහුණැති මල් කොහා වාසය කරයි.
දුර්ලභ උභයජීවී විශේෂ ලෙස සලකන Nannophrys guentheri, Ramonella palmata සහ Icthyophis glutinosus ඇතුළු ගෙම්බන්, මැඩියන් සහ ගස් ගෙම්බන් විශේෂ කිහිපයක් ද KDN වනාන්තරය තුළින් හමුවේ.
වනාන්තරය තුළ ශාක විශෙෂ රාශියක් තිබෙන බැවින් සමනල් විශේෂ රැසක් ද වාර්තා වී තිබේ. මේ අතර, ආවේණික සමනල් විශේෂ 2 ක්ද සිටිති.
විවිධ වර්ගවලට අයත් සූනන්, සිකනලුන් සහ කටුස්සන් ද, සර්පයින් ද මෙම වනාන්තරය තුළ බහුලව හමුවේ. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා ද KDN වනාන්තරය තුළදී දැකිය හැකිය.
ශ්‍රී ලංකාව තුළ හමුවන මිරිදිය මත්ස්‍යය විශේෂ අතරින් 1/3 ක්ම ආවේණික වන අතර, කන්නෙලිය වනාන්තරයෙන් ආරම්භ වන දිය දහරා එනම්, ගිං ග‍ඟේ අතු ගංගාවල මෙම මත්ස්‍යය විශේෂ අතුරින් බොහොමයක්ම වාර්තා වී තිබේ.  මෙම මත්ස්‍යය විශේෂ, ජල පහරේ ස්වභාවය සහ උප ස්ථරයේ ස්වභාවය  අනුව  ජල පහරේ විවිධ ස්ථානවලට සීමා වී තිබේ.  KDN වනාන්තරය තුළදී හමුවන ගොඩබිම වාසය කරන ගොළුබෙල්ලන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
කුඩා ප්‍රමාණයේ ක්ෂීරපායි විශේෂ කිහිපයක් ද මෙම ප්‍රදේශයේ හමුවන අතර, මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වි තිබේ.  කන්නෙලිය වනාන්තරය තුලදී දැක ගන්නට ලැබෙන සුලභම ක්ෂීරපායි විශේෂ වන්නේ දඩු ලේනා සහ දම් මුහුණැති කොළ වඳුරාය.
ජල විද්‍යාත්මක වැදගත්කම:
Image result for kanneliya forest resort
ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි වැදගත් ප්‍රධාන ගංගාවන් වන ගිං ගඟ සහ නිල්වලා ගඟට ජලය සපයන ජල දහරා ආරම්භ වන්නේ මෙම KDN වනාන්තරය තුළින් බැවින් මෙම වනාන්තර සංකීර්ණය ජල විද්‍යාත්මකව ඉතාම වැදගත් වේ.  වනාන්තරය තුලින් ආරම්භ වන දිය දහරා විශාල සංඛ්‍යාවක් පවතින බැවින්, ජල විද්‍යාත්මක වැදගත්කම අතින් දකුණු ලංකාවේ මුල් ස්ථානය කන්නෙලිය වනාන්තරයට හිමිවේ. මෙම කුඩා ජල දහරාවන් ප්‍රධාන දිය දහරා තුනකට ජලය සපයන අතර, මෙම අතු ගංගා තුන ඔස්සේ ගිං ගඟට ජලය සැපයේ. එක් අතු ගංගාවකින් අනගිමල ඇල්ල සහ නාරංගස් ඇල්ල යන අති සුන්දර දිය ඇලි උපත ලබයි.
සමාජ ආර්ථික වැදගත්කම:
KDN වනාන්තරය වටා ගම්මාන 78 ක් පිහිටා තිබේ. මින් ගම්මාන 24 ක් වන සංකීර්ණයට ඉතාමත් ආසන්නව පිහිටා තිබේ. KDN වන සංකීර්ණය අවට පිහිටි ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය මූලික වශයෙන් තේ සහ වී ගොවිතැන මත පාදක වී තිබේ.  ගෙවතුවල මිශ්‍ර බෝග වගාකර තිබේ. ඇතැම් ගැමියන් කිතුල්, වේවැල් සහ උණ ආශ්‍රිත කුඩා පරිමාණයේ ගෘහ කර්මාන්තවල නිරත වී සිටිති. දර, කුඩා පරිමාණ දැව අවශ්‍යතාවයන් සහ විශේෂයෙන්ම ඖෂධීය පැලෑටි ඇතුළු දැව නොවන වනජ ද්‍රව්‍ය සඳහා මෙම ගම්මානවල වෙසෙන ගැමියන් යොමුවන්නේ වනාන්තරය වෙතය. මෙම වනාන්තරය තුළ ආරාම ආකාරයේ පන්සල් තුනක් දක්නට ලැබෙන අතර, වනාන්තර සංකීර්ණය සමඟ අවට ගම්මානවල ජනයාගේ විශාල ආගමික බැදීමක් පවතී.
ස්වභාවික මංපෙත්:
ස්වභාවධර්මයේ විශ්මිත දායාදයන් ගවේෂණය කිරිමට උනන්දුවක් දක්වන පාරිසරික සංචාරකයින් හට ඉතාමත් හොඳින් එම අත්දැකීම් විඳීමට අවස්ථාව සලසාදීම සඳහා වනාන්තරය තුළ ස්වභාවික මංපෙත් රැසක් නිර්මාණය කර තිබේ.
·         අනගිමල ඇල්ල
·         වවුල් ලෙන
·         නාරංගස් ඇල්ල
·         ලිහිණිගල් ලෙන
·         කබ්බලේ කන්ද සහ එයට තිබෙන ප්‍රවේශය
පහසුකම්:
·         පුහුණු මාර්ගෝපදේශකයින්
·         වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමට ස්ථාන
·         තොරතුරු මධ්‍යස්ථානයකින්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයකින්, සම්මන්ත්‍රණ ශාලාවකින් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය.
·         අලෙවි මධ්‍යස්ථානයෙන් තොරතුරු සපයන්නා වූ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකිය.
නවාතැන් පහසුකම් :
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තරය අසලින් නවාතැන් ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයා දී තිබේ.
නවාතැන
පිහිටීම
නවාතැන් ස්වභාවය
ලැගුම්ගත හැකි සංඛ්‍යාව
තවලම
තවලම
කැබින් කාමර 1
12
කැබින් කාමර 2
05
කැබින් කාමර 3
12
කැබින් කාමර 4
06
නවාතැන් පහසුකම් සහ කඳවුරු බිම් වෙන්කිරීම:
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියළුම සංචාරක බංගලාවන් / කඳවුරු බිම් වෙන් කිරීම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ, සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කෙරේ.  මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩකරන දිනවල පෙ.ව. 9.00 - ප.ව. 3.00 ත් අතර ඉදිරිපත් කළයුතුය. මෙම වෙන්කරවා ගැනීම් ස්ථිර කිරිම සඳහා අදාල සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.
දුරකථන අංක
2866631 , 2866631 , 2875540
දිගුව
: 250
ඇමතුම් ස්ථානය
වන සංගණන හා කළමනාකරණ අංශය

























0 comments: